හත්වන  පරිච්ඡේදය 

කතාව කියාගෙන යද්දී  මාලනී බහින තැනටත් ලන් වෙලා . ආයෙමත් ඉඩක් ලැබුණු වෙලාවක ඉතුරු ටික කතා කරමු කියලා  මාලනී  බසයෙන්  බැහැ ගත්තා. 

චිත්‍රා ට හිතුනෙ  මාලනී ගැන ආත්මානුකම්පාවක්. මාලනී දිහා බලන කෙනෙක් ට කීයට වත් හිතෙන්නෙ නෑ මාලනී  මේ තරම්  දුකක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් කියලා. ඒ තමයි  මාලනී ගේ ව්දිය.  අපිට  මුන ගැහෙන අයගේ ජීවිත වල මතු පිටින් පෙනෙන දර්ශනයට යටින් මොන තරම්  දුක් දොම්නස් තියෙනවාද කියලා  චිත්‍රා ට හිතුනා.

ගෙදර ගිය මාලනී ට කිසිම  දෙයක්  කරගන්න බෑරිව  තෝන්තු වෙලා වගේ හිටියේ . කාලයක් තිස්සේ යට කරගෙන හිටපු මතකයන් ඇවිස්සීමත් එක්ක මාලනී ගෙ හිත විතරක් නෙමෙයි , මුලු ආත්මයම, කීරි ගැහිලා  ගිහින් . 
ගෙදර ත් කවුරුවත් නැති එකේ මාලනී තේ කෝප්පයකුත් හදාගෙන එයා හැමදාම හවසට නිදහසේ ඉන්න කැමති මිදුලේ  ගල් බන්කුවෙන් වාඩි වුනා . තේක බොන අතරෙ  ජයන්ත සම්බන්ධ හැම මතකයක් ම මාලනී ගේ දෑස් ඉදිරියේ හරියටම  චිත්‍රපටියක් වගේ දිග හැරෙන්න  පටන් ගත්තා . 
අම්මාගේ  මරනින් පස්සෙ , ජයන්ත  ආයෙත් මාලනී ගේ ලෝකෙට  ඇතුළු වෙද්දි, මාලනී  ඒ පැත්තට ඇදිලා ගියේ  හරියටම කාන්දමක් ඇදෙනවා  වගේ. ඒත් මාලනී  ගෙ හිත තිබුණේ තිගැස්සිලා. 

ඒ දෙන්නා ආයෙමත් ලන්වෙලා හිටියත් , එය කිසිම කෙනෙක් අනුමත නොකරන  සම්බන්ධයක් වෙලා .  සමාජ සම්මතයෙන් බැහර වුනු කතාවක් වෙලා .

මාලනී ට මතක් වුනා එයා ඒ ගැන  ජයන්ත ට කීවාම ජයන්ත කියපු දේ. 
“මිනිස්සු ඔයාට දොස් කියයි ජයන්ත , ඔයාව හෙලා දකියි, කසාද  බැඳලා ත් ආයෙත්  පරන ආදරය අලුත් කරලා කියලා ” 
“මිනිස්සු දාහක් මාව හෙලා දැක්කත්,  මේ වෙලාවේ මේ ලෝකේ  මාව වුවමනාම  කෙනෙක් වෙනුවෙන් , එයාගෙ ජීවිතයට පුලුවන් විදියකට සතුට ගෙනත් දීලා කඩන්  වැටීගෙන යන ජීවිතය  ගොඩදාන්න උදව් වෙන එක වරදක්ද මාලනී ?”
“කවුරු හරි කෙනෙක් ඒක වරදක් කියලා කිව්වා වුනත්, ඒ කියන ඕනෑම කෙනෙක්ට වඩා මට ඔයාව වටිනවා.”
“මේ වෙලාව ඔයාට මාව වුවමනාම  වෙලාව. මම කොහොමද ඔයාව අතාරින්නේ?”
“ඔයා ඒ ගැන හිතලා  දුක් වෙන්න එපා.”
“දුකක් නැතිව ජීවිතයට මුහුණ දෙන්න .මගේ හයියත් අරගෙන  ඔයා ජීවත් වෙන්න . මට  පුලුවන් කල් මම ඔයා ලඟ ඉන්නම්.”

මාලනී ට මොන තරම් නම් අස්වැසිල්ලක් දැනුනාද ඒ වෙලාවෙ. අදටත් මතකයි, ඒ වචන ටික ඇත්තටම එයාට මොන තරම් හයියක් වුනාද කියලා . 
ඇත්තටම මාලනී ජීවත් වුනේ  ඒ හයිය සහ ආදරයට හේත්තු වෙලා .

ඒ හයිය කොයි තරම් කල් ලැබෙයිද කියලා දන්නෙ නැති වුනත්, ඒ ලැබෙන සතුටට මාලනී ඇලුම් කලා.ජයන්ත ගෙන් ඒ වෙලාවේ ලැබෙන සෙනෙහස  වඩාත් ලෙන්ගතු ව, වඩාත් උනුසුම් ව මාලනී ට දැනුනා .

මාලනී පවතින  තත්වයෙන්  සතුටු වෙන්න උත්සාහ ගත්තත් එයාගෙ හිත ඇතුලේ මහා ලොකු හිස් බවකුත් නිරන්තරයෙන්ම  තිබුනා .

ඒ වෙනකොට මාලනීට හිතිලා  තිබුණේ  මේ ලෝකේ , අපි ආදරය කරන අය ඇරුණු කොට කිසිම කෙනෙක් වත්, කිසිම  දෙයක් වත්  වැදගත්  නෑ කියලා .

ආදරය කියන දෙය, පාරක දිග මනිනවා වගේ  වත්, ගොඩනැගිල්ලක උස මනිනවා වගේවත් මනින්න බෑනේ. ඒත්  ජයන්ත  තමුන්ට, අවන්කව ආදරය කරපු බව සහා තවමත් ඒ ආදරය  අඩු නැතුව තියෙන බවත් මාලනී තේරුම් අරගෙන හිටියේ .
ඇය කිසිම දවසක ජයන්ත ව තමන් වෙතට නැවත ඇද ගන්න උත්සාහ කලේ නෑ. ඉඩක් ලැබුණු විටක හා පුලුවන් අයුරින් ඒ සෙනෙහස අත් විඳිමින්  ඇය ජීවිතයට මුහුණ දුන්නා .

සතියකට වරක් තමයි ඒ අයට මුනගැහෙන්න ඉඩ ලැබෙන්නේ .ඒ මාලනී තවමත් දුර බැහැර පලාතක සේවය කරන නිසා . ගොඩක් දවසට ජයන්ත කලේ ගමනින් භාගයක් දුරට වත් එයා කාරෙකින් යන එක, සිකුරාදා හවසට එයාගෙ වැඩ ඉවර වෙලා .හුඟක් දවසට මාලනී ට කුරුණෑගල ට එන්න කියලා ,එතන ඉඳන් ඒ දෙන්න එකට එනවා .රෑට කොහෙන් හරි දෙන්නාම එකට කෑම කාලා මාලනී ව ගෙදරට ගිහින් බස්සවනවා . 
ජීවිතය  ගෙවිලා ගියා ඔය විදියට , තව අවුරුදු හතරක් විතර . 
ඒ වෙනකොට  ජයන්ත ට දරුවෝ දෙන්නෙක්  ලැබිලා. ජයන්ත ගෙ පවුලේ විස්තර , ප්‍රශ්න , දරුවන් ගැන , මේ හැම දෙයක් ගැන  ම  ප්‍රශ්නයක්   කර ගන්නේ  නැතුව කතා කරන්න පුලුවන් තරම් නිරවුල් ඒ දෙන්නාගේම හිත් දෙක ඒ වෙනකොට .

එන්න  එන්නම ජයන්ත ගේ ලෝකෙ  බැඳීම් වැඩි වෙන කොට, එයාට  මාලනී  වෙනුවෙන්  ඉස්සර වගේම වෙලාව වෙන් කරගන්න  බැරි වෙනවා. කෝල් කරන එක  අතපසු වෙනවා . හැම සිකුරාදා ම ඉස්සර වගේ මාලනී ව මගින් ගන්න ගමනේ මගක් දුරට යන්න  බැරි වෙනවා .
එතනදී මාලනී දුර්වල  වෙනවා. අසාධාරණ වෙනවා. මාලනී දුක් වෙන්න පටන් ගන්නවා ජයන්ත  වෙනස් වෙනවා කියලා . 
“ඔයා මාලනී අසාධාරණ වෙන්න එපා .මම ඉන්න තැන ඔයා හිටියා නම්, ඔයා කසාද බැඳලා, මම තනියෙන් හිටියා නම්,මම මේ කරන දෙයින්  අබ ඇටයක් තරම් වත් ඔයාට කරගන්න බැරි වෙයි. තේරුම් ගන්න මාලනී “.
ජයන්ත එහෙම කියද්දි, මාලනී ට වැටහුනා එයාට තව දුරටත් ජයන්ත වෙනුවෙන් දුක් වෙන්න අයිතියක් නැති බව. 

“එහෙම තමයි ජීවිතය . කාලයත් එක්ක අපේ ජීවිත වල වෙනස් කම් සිද්ද වෙනවා. ඒවාට සමගාමීව අපිටත් වෙනස් වෙන්න සිද්ද වෙනවා .කාලයක් එකට ගෙවුණු අපේ ජීවිත, වෙනස් පාරවල් දිගේ යන්න පටන් ගන්නවා .”
“ඒකට මුහුණ දෙන්න මාලනී .”

ජයන්ත එහෙම කියද්දී මාලනී ගල් ගැහිලා ගියා . ආයෙමත් ජීවිතයේ තනි වෙන්න තිබුනු බය මාලනී ව අසරන කලා .

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s